Wednesday, October 13, 2010

සින්නෝ සහ ජුන්නෝ

පලමු මස හදුනගෙන
දෙවන මස සිනහවී තෙදොල් වන
තෙවන මස සිටන්
සිව් වසක් යන තුරුම
නොහදුනන්නන් ලෙස සිටින
අපේ ජූනිය(ර්)ස්ලා


05/2010 

Thursday, September 9, 2010

මංගල රෑ



දාඩියෙන් තෙත් වෙච්ච
රැලි වැටුන
සුදු රෙද්ද
උදේ එලි වන විටත්
කිසිත් පැල්ලම් නැතිව


සුදට තිබ්බා වු හිතේ
කහට පැල්ලම් පිරී
කිලිටි වී
කලු ගැසී

Tuesday, August 17, 2010

ඔබ සහ මම












             
බඹර පහසින් 
තැලී පොඩි වුන
පැහැය කෙලසුන 
සුවද මල ඔබ...


අනුන් රොන් ගත්
මලට පෙම් බැඳ
සිතින් හඩනා
සමනලයා මම...

Sunday, August 15, 2010

එද සහ අද










 එදා:

ධර්ම ප්‍රචාරයට සහය
නි 
 
මහ රජතුමනි...

එහෙයි අපෙ හාමුදුරුවනේ



අද:

ඡන්ද වැඩට සහය ඕනි 


හාමුදුරුවනේ...

එහෙයි අපෙ ඇමති තුමනි...

Friday, August 13, 2010

ලැජ්ජාව


ලැජ්ජා නැද්ද මෙයා,
ණයට බඩු ගන්න
Credit Card
තියෙද්දි...

Tuesday, August 10, 2010

වෙනකුට අයිති මල....











අන් අයට අයිතී
වෙනත් ඉඩමක සුපිපි
පාට යහමින් පැතිරි
ඇති සුවඳ මලකි

ඔබෙ සුවද මන් බදිති
අන් අයද මත් කරති
අයිති කරු එය නොරිසි
ඔබ තලා පොඩි කරති

ලබා ගත නොහැකි
මුල් බදා අති හෙයිනි
කඩා ගත නොහැකි
පරව යන හෙයින් වියැකි

යන සුවඳ පැතිරී
වළකා ගනු මා මිතුරී
මත් නොකර නොරිසි
අය ඔබේ මන රුවිනී

තව තවත් මා මිතුරී
යෙහෙ ගුණෙන් වැඩි වැඩිනී
යෙහෙන් කල් වැජබී
තුටු කරන් හිමි රදුන් තුටිනී

මතු දිනක සුපිපී
මට අයිති ලෙසිනී
මා දිවිය සොදිනී
තුටු කරන් මල් රැජිනී


ලිව්වේ - 2010 / 7/ 16

Friday, August 6, 2010

සරසවි ගීතය










මා පුතා හොඳ පුතා
රටක් වටිනා පුතා
සරසවියට ගොස් මෙදා
දිනයි ලෝකය සදා

මව් දකින ඒ සිහින
සඵල කර ගනු කෙලෙස
පල් වෙවී ගඳ ගහන
අධ්‍යාපනයක මහිම

පටන් ගත් දා සිටම
එකම දේ උගන්වන
ප්‍රායොගික පරීක්ෂන
එපා වී ඇත බොහොම

පන්තියට ආ පසුව
පොතේ ඇති හැම දෙයම
නැවත කියවා යනෙනෙ
දේශකයින්ගේ අපුල

පොත් වලම ගැටෙමින්
සිව් වසක් ගත කරන
සිනහවක් මුව නොමැති
සිසු කැලක ප්‍රතිභාව

හෙට ලොවට වැඩක් නැති
නෝට් පිටු පුරවාන
උපාදිත් ගෞරව සමග
පිටව යන යෞවනය

මෙයින් පිටවූ කලට
බෝඩ් ලැලි අතින් ගෙන
පාරටම නාකි වන
ලකේ බුද්දි ආකරය

මේ සියලු දකින මම
කෙලෙස ලොව දිනන්නද
ඔබෙ සිහින බොලද බව
කෙලෙස මා කියන්නද


ලියවුනේ - 2009/10/23


ප:ලි:
මෙම ඉහත දැක්වෙන චායාරූපය හා මෙම පද පෙල අතර කිසිම ආකාරයක සම්බන්දයක් නොමැති බව කාරුනිකව සලකන්න.
චායාරූපය උපුටා ගත්තේ : http://www.wsws.org/images/2009jul/j17-sril-480.jpg

Tuesday, July 13, 2010

මිහිරාවිය...













දඟකාර නෙතු පෙනෙන මානේ
කොමල වදනක් ඇසෙන ගානේ
දෙතොලෙ උණුසුම විදින වාරේ
ගලා සෙනෙහස දෙහද යාවේ


ගිම් නිවන මදහසට ඔබගේ
වියැකි යයි දාහයන් මාගේ
තිබෙන තුරු සිනහවක් දෙතොලේ
දැනෙයි රජකම ලැබුන විලසේ


දෙව් ලියන් පරදන ඔබේ වුවනේ
තිබෙන ලස්සන පෙනෙන ගානේ
මාගේ ආලය දහස් වාරේ
වැඩි වෙවී යයි සයුර විලසේ

ලියුවේ - 2009 / 3 / 20

Monday, July 12, 2010

Super Star ආදර වන්තිය...









හඳ පානේ වැළි මළුවේ
ඔබෙ සුසුමන් දැනෙන වෙලේ
මගේ කණට ගී මිමුණුව
මා ආදර කෝකිලාව

පාසල් වියෙ සභාව මැද
සභකෝලෙන් හිස හැංගුව
මහද දිනූ කෝකිලාව
නළුවකු හා හරි හරියට
නටනව දැන් රඟ බිම උඩ

කොට ගවුමෙන් විලි වහගෙන
පාට කොන්ඩෙ රැළි දාගෙන
ඉංගිරීසි වචන දාන
මගේ පුංචි කෝකිලාව

මල් චීත්ත ගවුම් ඇදපු
කොණ්ඩෙ කරල් දෙකක් බැඳපු
වැව ඉහත්ත දෙවට දිගේ
මාත් එක්ක පයින් ගියපු
උඹමද ඒ කෝකිලාව

උඹව TV එකෙ බලන්න
සුපිරි තරුව ඔබ කරන්න
මම යවාපු ඉල්ලුම් පත
උඹත් රැගෙන ගිය නියාව

උඹ දකින්න TV එකේ
තිස් තුන් පැය බලා හිටින
උඹේ පරණ රන් බංඩව
මතක නැද්ද කෝකිලාව

උඹෙ වටෙ ඔය ඉන්න සෙනඟ
ඉන්නේ තව කී දවසද
අලුතින් තරු පෑයූ හෙට
උඹ තනි වෙයි මා විලසට

ඒක් නිසා මා ප්‍රියාව
නැවත වරෙන් මා වෙතටම
ආයෙත් මල් පොකුරු රැගෙන
වදිනට යමු රුවන්වැලිය

ඉතිං ආයුබෝවන්...










ප්‍රභාතය වී පැමිණ
මාරුතය ලෙස සැරිය
බිඟු කැලක් සේ සිටිය
සිව් වසර අවසනය

අද ඊයෙ වගෙ මතක
සිව් වසරක නෑදෑ කම
අත් හැරදා යා නොහැකිව
නෙතට කඳුළු උනන අයුර

ඈත පෙනෙන කඳු වළල්ල
මෑත ගලන නිල් දියවර
උරුම නැතත් මේ වයඹට
නැහැ අඩුවක් සොදුරු බවක

එක තේ එක අපි හැමෝම
රස කර බිව් සරසවි කල
අපට හොරා අවසන් වග
පිළි ගැනුමට නොහැකිය මට

සුවඳ හමන නා ගස් පෙළ
විඩා නිවන ෆන් බංකුව
සෙවන සැදුව උණ ගස් ටික
නෑ මට මින් ඉදිරියටම

කජු රඹුටන් අඹ ගසි ටික
හෙට තනි වෙයි අපි ගිය විට
අපේ හිනා නැති වා ගැබ
කඳුළු සලයි නොම වේ සැක

යොවුන් දිවියෙ හරි අඩක්ම
වයඹ ඇකයෙ සිටි අප හැම
වෙන්ව ගියත් හෙට සවසට
මිතු දම් පවතී සත්තට

ඉතිං සොයුර මා මිතුරිය
හෙට එලැබෙන නව ලෝකය
ජය ලබනට පා සවි බල
පතනෙමි මම එක සිතින්ම

කවිය උනත් මේ අන්තිම
මගේ නමින් පවුර දරන
පතනෙමි හැම දනා හටම
ආසිරි ජය සදා කල්ම...!

ලිවුවේ - 2010 / 02 / 24

මේ කවිය ලියවුනේ අපේ සරසවියෙ අන්තිම දවසවල. එ දවස් වල අවුරුදු හතරක් හිටිය එ බිම , යාළුවෝ අතහැරලා ඒ මට බැරිව දුකින් හිටිය කාලයක්. මේ කවිය මගේ අතින් ලියවුන මම වඩාත්ම ආස කරන කවියක්. ඒ මේක ලස්සනට ලියවුන හින්දද එහෙමත් නැත්න්නම් ඒ සොදුරු මතකයන් මේ කවිය පුරාවට තියන නිසාද නම් දන්නෙ නෑ.අනිත් කාරනය මේ කවි පද වැල අපේ "පවුර"ට (ඒ කියන්නෙ අපේ නිර්මාන එකතුවට ) මම දාපු අන්තිම කවිය. "සියපත් විල" කියවන අප සරසවියේ නොවන සහෘදයන්ට මෙම පද පෙළේ කියවෙන තැන් නුහුරු වුනාට එය රසවිදින්න නම් එය බාදාවක් නොවේවි. (උඩින් තියන එක චායරූපයක් අපේ "පවුර" අනික තමයි මගේ අති ජාත මිත්‍රයෝ රැල.) මේ දිග සටහන කියෙව්වාට බොහොම තුති.

ඇබෑර්තු ඇත.........













Observer එක ගත්තම
Vacancy ගොඩ දක්කම
දෙකඩ වෙයි හදවත
තෙත් කරන් පිටු ගණන් පත්තර

CIM, CIMA කරපු උන් එති
කඩුවෙන්ද වැඩ දෙති
තොගෙ ඩිග්ග්‍රි වැඩක් නැති
තොට දෙන්න ජොබක් නැති

හතරක් ගෙවු වසර
විදිමින් මහත් කරදර
ලැබූ මේ උපාදිය
කොළයක්ය නැත, එයින් ඵල

උකස් කර ඉඩ කඩන්
පුද සුද්දන්ට යහමින්
රට ඩිග්ග්‍රි අරගන්
තොට ජොබක් දෙන්නම්

නැතොත් ජොබ් හිඟමින්
අට පාස් ඇමතිගෙන්
ලියුම් කඩදහි ගනින්
පස්සෙ සලකා බලන්නන්...!

Sunday, July 11, 2010

මං සරණ නැඟනිය

මල් නොපෙනි ගිය මල් ගවුම්
පාළු වූ කණ කරද
නොසන්සිදි බඩගිනිද
උරුම වූ නැඟනියක

නගර මැද අභිමනව
විදුලි එළියෙන් දිලෙන
ඉංගිරිසි නම් කියන
බොජුන් හල ඉදිරිපිට

සළුපිලිද, කණකරද
ගත දරන අගනන්ය
සිය පවුල පිරිවරන
සැප වාහනයෙන් බහින

ඔබේ මාසික මුදල
මෙන් කිහිප ගුණයක්ම
පුදා එක වේලකට
යයි සතුටු වී බොහොම

කෙළි දෙලෙන් යන අයට
ඇස ගැටුනද ඔබ නිතර
ඔබේ මහ දුක් ගිනි කන්ද
දකිනු නැත කිසි දිනෙක

පින් අහිමු වූ පවට
උරුම වී මහ පාර
යදිමින්ම දිවි ගෙවන
නැඟනියේ මං සරණ

වෛර කෙරුමෙන් දනට
නැත කිසිත් පල අපට
හිතට ගන් බුදු පුදට
සරු වෙන්න මතු සසර

ලියුවේ - 2010 /04 /14

Saturday, July 10, 2010

තනිකඩයා

මොණරකු වුවත්
වන්නම් නොදත්
සෙබඩකු දිනක්
පැමිනෙයි සොයන්

කිචි බිචි ගගන්
මනරම් රැගුම්
පානා කලක්
ඒවී සෙමෙන්

පැටවුන් දරන්
බිරිදත් අතින්
අල්ලන් යනෙන දින
දුර නෑ ඉතින්

ඉරනම දරන්
සෙබඩක් ළඟින්
එනකම් ඉතින්
ඉවසන් ඉදින්...

ලිව්වේ - 2009/09/06

Friday, July 9, 2010

නමේ යටගියාව

බ්ලොග් අඩවියක් පටන් ගන්න හිතාගෙන හුග කාලයක් වුනාට මෙච්චර කාලෙකට එක පටන් ගන්න උනේ නෑ. පටන් ගන්න ලියාපදින්ච්චි වෙන්න ගියාම හැමදාම ආපු ගැටළුව උනේ නම. හිතට එන හැම නමම තියනව. මෙ පාරනම් අත ගැහුවෙ කරන්නම කියලා. නමක් හොයගන්න මාර ගේමක් දුන්නෙ. බැරිම තැන මම සිංහල සිංදු තියන ෆෝල්ඩරයට ගිහින් සිංදුවල නම් බලාගෙන ගියා එහෙමවත් නමක් මට ලැබෙයිද කියල. වැඩේ හරි ගියා."විල" කියල තිබ්බ සිංදුවක දැකල මට මේ නම මතක් වුනා. වෙලාවට ඒ නම තියනවා. ඉතින් මගේ බ්ලොග් එක අද ඉදන් "සියපත් විල". මගේ හිතේ නැගෙන මනස්ගාත සිතුවිලි මේකෙ ලියවෙයි. ඔබලාත් පුලු පුලුවන් වෙලවක අවිත් මේක බලල යන්න. ගුණ දොසුත් කියන්න. හැබයි මගේ මේ උනන්දුව නම් කවද වෙනකම් තියෙයිද දන්නෙ නේ.

Thursday, July 8, 2010

ඔබට


බොර දියට ඉහලින්
නැගි සිටින අදරින්
සිය පතක් මෙලෙසින්
සුවද දෙයි බ්ලොග් ලොවට අලුතින්

සියපතින් පිරිවර
විල් තෙරක් දුටුවිට
ඔබේ සිත නිසැකව
පහන් වෙයි නැත කිසිත් එහි සැක

නිතර මෙහි එන්න
රස සුවද විද ගන්න
ගුණ දොස්ද පවසන්න
මට තවත් එඩි දෙන්න